2019 පෙබරවාරි 17 දින දම්සභා මණ්ඩපය දෙවන වැඩසටහන
- මලියදේව පරිපාලන අංශය
- Feb 17, 2019
- 2 min read
සමස්ථයක් ලෙස ගත් කල වර්ථමාන සිසු දරුවන් තුල ධර්ම අධ්‍යාපනයට ඇති ඇල්මත් ධර්මය පිළිබඳ කරුණු දැනගැනීමත් යන අංශ දෙකටම ඇත්තේ සාපේක්ෂ පසුබැස්මක්. දිනෙන් දින සිදුවන බටහිර සංස්කෘතික ආක්‍රමණයන්ට ගොදුරුවීමත් ජංගම දුරකථන වැනි විවිධාකාර තාක්ෂණික උපකරණ අයතා ලෙස පරිහරණයට පුරුදු වීමත් නිසා සිංහල බෞද්ධයා සිය ශ්‍රේෂ්ඨ සංස්කෘතියෙන් බැහැරට යමින් සිටීමේ විපාකය භුක්ති විඳින්නේ වර්ථමාන සිසු දරුවන්. ධර්මය දැනගැනීමත් ධර්මයෙහි පිළිපැදීමත් නීරස කාරණාවක් වී ඇත්තේ යට කී කාරණාවන් හේතු කොටගෙනයි.
දිනෙන් දින බිඳින් බිඳ ශ්‍රී සද්ධර්මයෙන් ඉවත් වීගෙන යන සිංහල බෞද්ධයාගේ අනාගත පරපුර වෙත නැවතත් ධර්ම රසය ඇති කරවනු පිණිස විවිධාකාර ව්‍යායාමයන් අත්හදා බලමින් වෙහෙසෙන මලියදේවයේ විදුහල්පති හිමියන් ඇතුලු ගුරුමණ්ඩලයට 'ධම් සභා මණ්ඩපය' නම් වූ සංකල්පයක් ඇති වූයේ එකී ව්‍යායාමයන්ගේ ප්‍රථිඵලයක් ලෙසයි. සිසු දරුවන් පන්ති කාමරයකට සීමා කොට දෙන ධර්ම දානයකට වඩා මණ්ඩපයක් මත සිදු කරන ධර්ම සාකච්ඡාවක් වඩා ප්‍රායෝගික බවක් ගෙන දෙන බව වැටහීමෙන් 'ධම් සභා මණ්ඩපය' සකස් විනි.
සය වන ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු දරුවන් සමඟ පොදුවේ සාකච්ඡා කල හැකි සාර්ධර්ම ගුණධර්ම, ත්‍රිවිධ රත්නයේ ගුණ, ජාතික වීරයින්, ජීවිත විනාශ කරන මත් උවදුර වැනි මාතෘකා ගුරුමණ්ඩලයත් සිසු දරුවනුත් එක්ව සාකච්ඡා කිරීම දම් සභා මණ්ඩපය තුලදී සිදු කෙරේ.
දෙවන ධම්සභා මණ්ඩපයේදී සාකච්ඡා කෙරුණේ තෙරුවණ් අතුරින් පළමු රත්නය වන බුද්ධ රත්නයේ ගුණ පිළිබඳවයි. තුන්ලෝකාග්‍ර වූ සර්වඥයන් වහන්සේ නමක් වුවද සිය බුද්ධ ආයුෂ කාලය පුරාවටම දේශණා කොට වදාල වුවද අවසන් කල නොහැකි අනන්ත අපරිමාණ බුදු ගුණ පුහුදුන් අප විසින් අපට වබෝධ මට්ටමින් සාකච්ඡා කිරීමට තීරණය කෙරුණේ වර්ථමාන සිසු දරුවන් ත්‍රිවිධ රත්නයෙහි ගුණ පිළිබඳව යම් කිසි අවම මට්ටමක දැනුමක් ඇති බව අවබෝධ වූ නිසායි. 'ඉතිපි සෝ භගවා අරහං...' යන ගාථාවේ වෙන්කොට ඇති ආකාරයට සර්වඥයන් වහන්සේගේ උතුම් ගුණ නවය වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීම මණ්ඩපය තුලදී සිදු විය.
වෙනත් ශාසනික මෙහෙවක් සඳහා විහාරස්ථානයෙන් බැහැරට වැඩම කොට සිටි නිසා විදුහල්පති හිමියන්ගේ සහභාගීත්වය නොතිබි බැවින් මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ ධර්ම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්‍යවරියක් ලෙස කටයුතු කරමින් සිට අප අතරින් සදහටම වෙන් වී ගිය සුසිලා පෙරේරා ගුරු මෑණියන් විසින්. අනතුරුව ධර්ම විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආචාර්‍ය අමරසිංහ ගුරු පියාණන් විසින්ද, සමන්ත, ඩිල්ෂාන්, ධම්මික යන ගුරු මණ්ඩලයේ සාමාජික ගුරුවරුන් විසින් ද දේශණා පවත් වන ලදී.
සාකච්ඡා කරන ලද නව අරහාදී බුදු ගුණ ඇසුරෙන් දැනුම පරීක්ෂාවක් පවත්වා අයග්‍රාහී සිසුනට වටිනා ත්‍යාග ප්‍රධානය කිරීමක් ද වැඩසටහන අවසානයේදී සිදු විය.
Comments