2019 නොවැම්බර් 10 දින මලියදේව රන් අස්වනු
- මලියදේව පරිපාලන අංශය
- Nov 10, 2019
- 2 min read
දිනෙන් දින ක්‍රමානුකූලව ඈත්වීගෙන යන සිංහල බෞද්ධයාගේ 'අපේ කම' යලිත් වරක් අප අතරටම රැගෙන ඒමේ උදාර පරමාර්ථය පෙරදැරිව සංවිධානය කෙරන 'මලියදේව රන් අස්වනු' විදුහල්පති හිමි පූජ්‍ය බදුල්ලේ මහානාම හිමියන්ගේ තවත් නව සංකල්පයක්. අපේ සංස්කෘතිය, අපේ අනන්‍යතාවය පිලිබඳව අවබෝධයක් ලබාදෙමින් එකී සංස්කෘතික ක්‍රියාදාමයන් ප්‍රායෝගිකව සිදු කරන ආකාරය හුරු කරවන 'රන් අස්වනු' සිංහල බෞද්ධයාගේ අනාගත පරපුර නිර්මාණය කිරීම උදෙසා ලබා දෙන දායකත්වය ප්‍රශංසනීයයි.
විවිධ දක්ෂතා, කුසලතා හෙබි මලියදේව සිසු දරුවන්ගේ නිර්මාණශීලී දායකත්වයෙන් අස්වැද්දෙන මෙම සංස්කෘතික උළෙලහි තේමාව කරල් පැසුනු කෙත් යායක අසිරිය විදහාපාන සුන්දර ගැමි පරිසරයක් වීම විශේෂයි. ඒ අනුව ගමට ආවේනික චරිත වන ගම්මුලාදෑනි, ගම හාමිනේ, ගුරුන්නාන්සේ, ගොවීයන්, ගෙවිලියන් මෙන්ම ගමේ අංග වන කෝපි කඩේ, කුඹුර, කමත, ගොවි උපකරන ආදී වූ සියලු සප්රානික අප්‍රානික දෑ රන් අස්වනු මංගල්‍යයෙහි නිරූපනය කෙරේ. චරිතාංග නිරූපණයෙහි අති දක්ෂ මලියදේව සිසු දරුවන් විසින් යට කී චරිත වලට පණ පොවමින් නාට්‍යයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මෙහි අවසානය විවිධ අංශ ඔස්සේ කුසලතා දැක්වූ සිසු දරුවන් හට රන්, රිදී, ලෝකඩ පදක්කම්, ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානය කිරීමක් නිසා එය සැබෙවින්ම 'රන් අස්වනු' නෙලීමක්.
වසරක් පාසා පැවැත්වෙන 'මලියදේව රන් අස්වනු' මෙවර සිදු කෙරුනේ 2019 නොවැම්බර් මස 10 වන ඉරු දිනයි. සුපුරුදු පරිදි විදුහල්පති හිමියන්ගේ මූලික අනුශාසනා සහ උපදෙස් මත ගුරුමණ්ඩලයේත් සිසු දරුවන්ගේත් ඉමහත් කැපවීමේන් සහ පරිත්‍යාගයෙන් සංවිධාන කටයුතු සිදු කෙරුණු අතර සමාරම්භක උළෙල සිදු කෙරුනේ මුල්ලේරියාව රෝයල්ටී සිංහ සමාජයේ මූලිකත්වයෙන්. මෙහිදී විදුහල්පති හිමියන්ගේ අනුශාසනාව තුලින් සිසු දරුවන්ගේ වටිනා ජීවිතත් නිර්මාණශීලී හැකියාවත් මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියත් විනාශයට පමුණුවන කරුණු කාරණා කිහිපයක්ම හෙලිදරවු වීම විශේෂයක්. සිසු දරුවන් ජංගම දුරකථන වැනි මෙලොව සුභසෙතට හෝ පරලොව සුගතියට දායක නොවන උපාංග වල සිරවී සිටීම, අමතර පංති නිසා දහම් පාසල් අධ්‍යාපනය නවතා දැමීම යන කාරණා ඉන් කිහිපයක්. එමෙන්ම සිංහාධිපතිතුමන් විසින් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති වටිනාකම හුවා දක්වමින් සිදු කල කථාවද පැමිණ සිටි දෙමාපිය දූ දරුවන්ගේද වැඩි අවධානයට යොමු විය.
Comentarios